අනික්කසාවො කාසාවං - යො වත්ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන - න සො
කාසාවමරහති
යො ච වන්තකසාවස්ස - සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන - ස වෙ
කාසාවමරහති
සැදැහැවත් පින්වතුනි,
සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුගෙන් ලෝකයාට හිමිවන උතුම් දායාදය සම්බුද්ධ ශාසනයයි. දෙවි මිනිසුන්ගේ හිත සුව සඳහා ඒ සම්බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීම හැම බෞද්ධයකුගේම යුතුකමක් බව අපි කල්පනා කරනවා. ඒ යුතුකම හරියාකාර ඉෂ්ට කර ගැනීමට නම් ශාසනික වටිනාකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් අප තුළ තිබිය යුතු වෙනවා. අද මේ වෙසක් පෝය දවසේ ඒකට අදාළ ගාථා දෙකක් අපි මාතෘකා කරගත්තේ ඒක නිසයි.
මේ ගාථා දෙක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ දෙව්දත් තෙරුන් පිළිබඳ එක්තරා සිද්ධියක් අරඹුණු කරගෙනයි. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතුන් වහන්සේලා දෙනම එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන සැවැත් නුවරින් රජගහ නුවරට වැඩම කළා තම තමන්ගේ පන්සියය පන්සියය බැගින් වූ සඟ පිරිස් සහිතව. රජගහ නුවර වාසීන් මේ අග්‍රශ්‍රාවක දෙනමටත් ඒ සඟ පිරිසටත්, සාමූහික වශයෙන් එකතු වෙලා, දෙතුන් දෙනා පහළොස් දෙනා එකතු වෙලා, දානමාන කටයුතු වල යෙදුනා, දන් දෙන්න පටන් ගත්තා. එක දවසක් සැරියුත් ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරන අවස්ථාවේදී මෙහෙම ප්‍රකාශ කළා. උපාසකයෙනි, යම් කෙනෙක් තමන් දන් දෙනවා අනිත් අය දාන ප්රතිපත්තියෙහි සමාදන් කිරීමක් නෑ. ඒ කියන්නෙ දන් දෙන්න අනිත් අය උනන්දු කරවන්නෙ නෑ. එබඳු කෙනෙකුට උපනුපන් ජාතිවල භෝග සම්පත්ති මිසක් පරිවාර සම්පත්තිය ලැබෙන්නෙ නැහැ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නෙ නෑ අනික් අය දන් දීමෙහි උනන්දු කරවනවා. ඒ තැනැත්තාට අනාගතයේදී භෝග සම්පත්තිය ලැබෙන්නෙ නෑ පරිවාර සම්පත්තිය පමණයි ලැබෙන්නෙ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නෙත් නෑ. අනිත් අය ඒ පිළිබඳව උනන්දු කරවන්නෙත් නෑ. එබඳු කෙනාට උපනුපන් ජාති වල භෝග සම්පත්ති පරිවාර සම්පත්ති දෙකම ලැබෙන්නෙ නෑ. හතර වෙනුව දක්වනවා, තවත් කෙනෙක් තමනුත් දන් දෙනවා අනිත් අයත් දන් දීමෙහි - ඒ ප්රතිපත්තියෙහි - සමාදන් කරවනවා. අපි දැන් මේ කාලෙ සම්මාදන් කරනවා කියලා කියන්නේ සමාදන් කරනවා. එබඳු කෙනාට උපනුපන් ජාති වල භෝග සම්පත්තියත්, පරිවාර සම්පත්තියත් කියන සම්පත් දෙකම ලැබෙනවා කියලා එහෙම ප්‍රකාශ කළා.
මේක අහන් හිටිය එක්තරා නුවණැති මනුෂ්‍යයෙක් කල්පනා කළා. මම මේ සම්පත්ති දෙකම ලැබෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා පිරිස ගියාට පස්සේ සැරියුත් ස්වාමීන් වහන්සේ ළහට කිට්ටු වෙලා කියනවා ස්වාමීනි, මම හෙට දවසට ස්වාමීන් වහන්සේට දනට ආරාධනා කරනවා කියලා. සැරියුත් ස්වාමීන් වහන්සේ ඇසුව කී දෙනෙක් සංඝයා වහන්සේලා අවශ්‍ය කියලා. කෙතෙක් සංඝයා වහන්සේලා මේ පිරිසේ සිටිනවාද කියලා අහුවාම දහසක් පමණ සිටිනවා කිව්වා. ඒ දහස් නමටම මම හෙට දානය දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා. සැරියුත් ස්වාමීන් වහන්සේත් නිශ්ශබ්දතාවෙන් ඒකට කැමැත්ත දැක්වූවා. ඉතිං මේ මනුෂ්‍යයා මෙහෙම කිව්වට මොකද කිසිම සුදානමක් නැතිවයි මේ ආරාධනාව කළේ. නගරයේ වීදිවල ඇවිදිමින් “අම්මේ, තාත්තේ, මම මේ වීදියට හෙට දවසට දහසක් නමකට ආරාධනා කළා තම තමන්ට පුළුවන් මට්ටමින් ඒ දාන උපකරණ අරගෙන එන්න. අපි එක තැනක රැස් වෙලා දානය පිළියෙල කරමු කියලා” ඒ විදියට හඬ නගමින් මනුෂ්‍යයින් උනන්දු කළා. ඒ වගේම විශාල පිරිසක් තමන් දහ නමක් විසි නමක් සිය නමක් පවා බාර ගෙන දායක පිරිස් ඒකී ස්ථානයට දාන ද්‍රව්‍ය ගෙනාවා. එක්තරා ධනවත් දායකයෙක් ලක්ෂයක් අගනා කාසාය වස්ත්‍රයක් ගෙනැල්ලා දුන්නා මේ දාන සංවිධායක මහත්මයාට - උපාසක මහත්තයාට - දාන කළමනා පිළිබඳ යම්කිසි අඩුපාඩුවක් වුනොත් මේ වස්ත්‍රය විකුණලා මේකෙන් වියපහැදම් බේරගන්න. එහෙම අඩුපාඩුවක් නූනොත් කැමති සංඝයා වහන්සේ නමකට මේ සිවුර පූජා කරන්න කියලා.
ඉතිං මේ දාන කටයුතු පසුවාද හොඳට සිද්ධවුනා. කිසි දේකින් අඩුවක් වුනෙ නෑ. මේ චීවරය, මේ කාසාය වස්ත්‍රය ඉතිරි වුනා. මේ දාන සංවිධායක මහත්මයා පිරිසට කියනවා මෙන්න මෙහෙම කෙනෙක් මට චීවර වස්ත්‍රයක් පූජා කළා - බොහොම අගනා දෙයක්. දන් කටයුතු සියල්ල නිම වෙලා තියෙනවා. අපි කාට මේ සිවුර පූජා කරනවාද? එතකොට ඇතැම් කෙනෙක් කිව්වා අපි සැරියුත් ස්වාමීන් වහන්සේට, සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේට, රහතන් වහන්සේට, පූජා කරමු කියලා. තවත් පිරිසක් කිව්වා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොයම් පැහුණු කාලෙට විරයයි ඇවිත් යන්නේ. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ එහෙම නෙවෙයි. හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ. අපට මඟුල්, අවමඟුල් හැම එකකටම උපකාර වෙනවා. ඒක නිසා අපි දේවදත්ත ස්ථවීරයන් වහන්සේට දෙමු කියලා. ඉතිං මේ පක්ෂ දෙකක් තිබුන නිසා අර දාන සංවිධායක මහත්මයා මේ දාන පොළේ පොඩි ඡන්ද විමසීමක් පැවැත්තුවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලය. පූජ්‍යපාද දේවදත්ත ස්ථවීරයන් වහන්සේ වැඩි ඡන්ද හතරකින් අර ලක්ෂයක් වටිනා චීවර වස්ත්‍රය ලැබීමට සුදුස්සා හැටියට තේරුණා. ධර්ම සේනාපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පක්ෂය පරාද වුනා.
ඉතිං කොහොම හරි ඒ වස්ත්‍රය දේවදත්ත ස්ථවීරයන්ට දුන්නා. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ඒක කපලා පඬුගහලා පොරවාගෙන ඒ නගරයේ හැසිරෙන කොට ඒ හැසිරෙන ආකාරයෙන් මනුෂ්‍යයින්ගේ යම් කිසි අප්‍රසාදයක් ඇති වුනා. සමහර විට උඩඟු විදියට හැසිරෙන්න ඇති. එහා මෙහා යන්න ඇති. මේ චීවරය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මිසක් දේවදත් තෙරුන්ට නම් සුදුසු නෑ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඔය සිද්ධිය වුනාට පස්සේ රජගහ නුවරින් එක්තරා සංඝයා වහන්සේ නමක් සැවැත් නුවරට වැඩම කළා, බුදු පියාණන් වහන්සේ දකින්න. බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේගෙන් අග්‍රශ්‍රාවක දෙනමගේ සුවදුක් විමසන අවස්ථාවේදී අර සංඝයා වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ සිද්ධිය. එතකොට බුදු පියාණන් වහන්සේ වදාළා. මහණ මේ ජීවිතයේ පමණක් නෙවෙයි දෙවිදත් තෙරුන් අතීතයේත් තමන්ට නුසුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන අනිත් අයගෙන් නිග්‍රහය ලැබුවා කියලා එක්තරා ජාතක කථාවක් ගෙනහැර දැක්වුවා.
අතීතයේ බරණැස් නුවර ඇතුන් මරණ ඇත් වැද්දෙක් හිටියා. කැලෑ වලට වැදිලා ඇතුන් මරලා ඇතුන්ගේ දළ, නියපොතු, මස් ආදිය විකුණලා ජීවත්වෙන ඇත් වැද්දෙක්. සමහර කැලෑවල විශාල ඇත් පිරිස් හිටියා. එක කැලෑවක ඇතුන්ගේ සිරිතක් තිබුණා - කැලෑවේ වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා තමන් ගොදුරු ගැනීමට යන අවස්ථාවේ පසේ බුදු රජාණන් වහන්සේලා ළහ දණ නමලා වැඳලා පිටත්වෙන සිරිතක් තිබුනා. මේ ඇත් වැද්දා දවසක් දැක්කා මේ සිද්ධිය. ඉතිං කල්පනාවේ වැටුනා, මොකද මේ ඇතුන් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වඳින්නේ කියලා. සිවුර නිසා වෙන්න ඇති කියලා හිතලා මාත් සිවුරක් ලබාගත්තොත් මට මේ ඇත් දඩයම බොහොම හොඳින් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ මොකද කළේ. පසේ බුදු රජාණන් වහන්සේ නමක් පොකුණකට බැහැලා පැන් පහසු වෙන අවස්ථාවේ ගොඩ තිබුණ සිවුරක් අරගෙන - හොරකම් කරගෙන - ගිහිල්ලා ඒක පොරවාගෙන ඊළඟට මොකද කළේ? උපක්‍රමය. හිස සිට ඒ සිවුර පොරවාගෙන අර ඇතුන් මරණ උපකරණය, ඒ ආයුධය හංගාගෙන ඉන්නවා.
ඇත් රැළ යන එන අතරේ, මේ පසේ බුදු කෙනෙක් කියලා හිතාගෙන වඳිනවා. ඉතිං ඇත් රැළ ගියාට පස්සේ අන්තිමට යන ඇතා මේ ඇත් වැද්දා අර ආයුධය ගහලා මරලා දළ ආදිය විකුණලා ඉතිරි මස් - ඒ ශරීර - කැලේ වල දානවා.
ඔහොම කලක් කරගෙන යන අතරේ බෝධි සත්ත්වයන් වහන්සේ ඒ ඇත් රැළේ නායකයා බවට පත්වුනා. බෝධි සත්ත්වයන් වහන්සේට දැනුනා තමන්ගේ පිරිස අඩු වෙන බව. මේකට හේතුව කල්පනා කරන කොට සැක හිතුනා මෙන්න මේ අහවල් මනුෂ්‍යයාගෙන් වෙන්න ඇති මේ උපද්‍රවය කියලා. අනික් ඇතුන්ට යන්න ඇරලා තමන් පසුව අන්තිමට ගියා, එක දවසක්දා. එතකොට ඒ ඇතුන් ගියාට පස්සේ මේ බෝධි සත්ත්ව ඇත් රජු ලඟට එනකොට අර ඇත් වැද්දා සිවුර ඉවත් කරලා ආයුධය ගැසුවා. ආයුධය විසිකලා. බෝධි සත්ත්ව ඇත් රජු කල්පනාවෙන් හිටිය නිසා පස්සට පැනලා ඒ ආයුධය වළක්වලා ඊළඟට ඉදිරියට පැන්නා මේ මනුෂ්‍යයා අල්ලන්න “උඹ නේද මගේ මේ පිරිස විනාශ කරේ?” කියලා. එතකොට මේ ඇත් වැද්දා මොකද කලේ? ගහකට මුවාවෙලා සිවුර ඉස්සරහට ඇල්ලුවා. සිවුර ඉස්සරහට ඇල්ලුවම මේ බෝධිසත්ත්ව ඇත් රජු කල්පනා කරනවා දැන් මේ සිවුරත් අල්ලගෙන ඉන්න මේ මනුෂ්‍යයා මං විනාශ කලොත් සිය දහස් ගණන් බුදු, පසේ බුදු, රහතන් වහන්සේලාට නිග්‍රහ කලා වෙනවා. ඒ ගෞරව සම්ප්‍රයුක්ත භය මගේ සිතින් නැති කරගත්තා වෙනවා. ඒක නිසා නොමරා අත හැරලා අවවාද කලා, නිග්‍රහ කලා. “නුඹ මේ විතරාගී උත්තමයන්ට සුදුසු ඇඳුමක් ඇදගෙන ඉන්නේ” කියලා නිග්‍රහ කලා අර මනුෂ්‍යයට.
එහෙම ඔය අතීත ප්‍රවෘත්තිය ප්‍රකාශ කරල බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේට වදාළා. අන්න ඒ ඇත් වැද්දා තමයි දේවදත්ත ස්ථවීරයන්. අතීතයෙත් ඒ විදියේ දෙයක් කළා. අන්න අපි මාතෘකා කළ ඒ ගාථා දෙක වදාළා.
අනික්කසාවො කාසාවං - යො වත්ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන - න සො
කාසාවමරහති
කෙලෙස් කසට ඉවත් නොකළාවූ යමෙක් ඉන්ද්රිය දමනයෙන් හා සත්‍යයෙන් තොරව වාසය කරමින් කාසාය වස්ත්‍රයක් අඳින්නේද හෙතෙම ඒ කාසාය වස්ත්‍රයට නොහොබී. නුසුදුසුයි. ඊළහ ගාථාව-
යො ච වන්තකසාවස්ස - සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන - ස වෙ කාසාවමරහති
නමුත් යම් කෙනෙක් කෙලෙස් කසට ඉවත් කරලා ඉන්ද්රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්තව කාසාය වස්ත්‍රයක් අඳිනවා නම්, ඒ තැනැත්තා ඒ කාසාය වස්ත්‍රයට සුදුසුය. කියන මෙන්න මේ අදහසයි ඒ ගාථාවල තිබෙන්නේ.
දැන් එතකොට අපි මේ මූලික සිද්ධියෙනුත් ඒ ජාතක කථාවෙනුත් ගතහැකි පාඩම් මොනවද කියලා සළකල බලමු. මේ කථාන්තරයේ ලිහිල් පක්ෂය ගැන හිතලා බලනකොට අර ඒ දාන සංවිධායක මහත්මයාගේ ආදර්ශවත් ක්‍රියාව පවා අපට පාඩමක් හැටියට ගන්න පුළුවන්. මේ දානාදී පින්කම් පිළිබඳව මේ කාලේත් ඔය සම්මාදම් කිරීම කියලා එකක් තියෙනවා. මේ සම්මාදම් කියන වචනය ඇත්ත වශයෙන් මේ ධර්මයේ සඳහන් වෙන්නේ සමාදන් කිරීම කියලා. දැන් සීල සමාදානය කියන වචනය මේ පින්වතුන්ට හුඟක් පුරුදුයි. සීල සමාදානය මිසක් දාන සමාදානය කියන වචනය පුරුදු නෑ. නමුත් ඒ වෙනුවට දානයට සම්මාදම් කරනවා කියලා එකක් තියෙනවා. එතන කියවෙන්නෙත් අර අදහසයි. දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගන්න සලස්වනවා. ඒ පිළිගත්තු නිසා තමයි ඒ පිරිස තම තමන්ට හැකි පමණින් ඉදිරිපත් වුනේ. ඉතිං එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්මය අනුවයි සැරියුත් ස්වාමීන් වහන්සේ මෙතනදි දැක්වුවෙත්. ඒක පරිවාර සම්පත්තිය ලැබීමට හේතුවන දෙයක්. ඒ මොකද දානය පිළිබඳව අනික් අය උනන්දු කරවන කොට කල්‍යාණ මිත්‍රයෙක් හැටියට, ඒකත් කුසලයක්. අනිත් අය කුසලයට තැඹුරු කිරීම. ඉතිං ඒ සම්පත්ති දෙකම සකස් කර ගන්ට සාදාගන්ට අර නුවණැති පුද්ගලයා ඉතාම අවංකව සාධාරණව ඒ දාන සංවිධානය කළ බව පේනවා. දහසක් නමකට කිසිම සුදානමක් නැතිව පටන් ගත්තේ. එක රැයෙන් ඒ සියල්ල සම්පූර්ණ කරලා දාන කටයුතු නිමා කලා පමණක් නෙවෙයි අර අමතර වස්ත්‍රය ඒක අනියම් විදියට යොදාගත්තේ නෑ. ඒක පූජා කළ, දුන්න, පුද්ගලයාගේ අදහසට අනුව ඡන්ද විමසීමකුත් කරලා ඒ ඡන්දයට අනුව - සුදුස්සා කෙසේ වෙතත් ඡන්දයට අනුව - ඒක දෙන්න සැලැස්සුවා.
ඉතිං ඊළඟට එතන අර දේවදත්ත ස්ථවීරයන් පිළිබඳව ප්‍රකාශ වුණු කාරණය ගැනත් අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජනප්‍රියත්වය ගුණධර්ම පිළිබඳ මිනුම් දණ්ඩක් නෙවෙයි. ජනප්‍රියත්වය අනුව නම් අර අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරාදයි දේවදත්ත ස්ථවීරයන්ට. නමුත් ඒ වස්ත්‍රයට සුදුසු අන්දමට නෙවෙයි පිළිපැද්දේ. ඒක නිසා තමයි අර මහජනයාගේ දෝෂාරෝපණයට ලක්වුනේ. ඉතිං මේ දේවදත්ත ස්ථවීරයන් එතනින් නැවතුනේ නෑ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට නොලැබෙන වස්ත්‍රයක් තමන් ලබාගෙන ඒ ඇතිවුන උඩඟුකම තුළින් තවත් ක්‍රියාත්මක වුනා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ‘දාරුණො භික්ඛවේ ලාභ සක්කාරෝ’ - ‘මේ ලාභ සත්කාර කියන එක මහ දරුණු දෙයක්, කටුක පරුෂ දෙයක්.’ මොකද ඒක තුළින් ඇතැම් කෙනෙක් භයානක අන්දමින් තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින්, අනියම් අන්දමින් ජීවිතය ගෙන යන්න උත්සාහ කරනවා. දැන් දේවදත්ත ස්ථවිරයන්ට වුනෙත් ඒකයි. දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ඊළඟට මොකද කළේ? කල්පනා කරා, මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබාගන්න නම් යම්කිසි රජ කෙනෙකුගේ රාජ අනුග්‍රහ ලබාගන්න ඕන කියලා. ඉතිං සිහියට නැගුනේ අජාසත් කුමාරයා, මගධ රාජ්‍යයට හිමිකම් කියන අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා පහදවා ගන්න එක්තරා උපක්‍රමයක් යෙදුවා. මේ දේවදත්ත ස්ථවීරයන්ට අභිඥාබල තිබුනා. සෘද්ධි ප්රාතිහාර්ය දක්වන ශක්තිය තිබුනා. ඉතිං සෘද්ධියෙන් ශරීරයක් මවාගෙන, අජාසත් කුමාරයා බයවන විදියේ සර්පයින් ඔතාගත්තු ශරීරයකින් උකුල උඩට ඇවිල්ලා පෙනී හිටලා බය උනාට පස්සේ නැවතත් තමන්ගේ ශරීරය නිර්මාණය කරලා පහදවා ගත්තා. අජාසත් කුමාරයා පහදවා ගත්තා තමන්ගේ තියෙන සෘද්ධිබල ශක්ති තුළින්. එතන ඉදලා ඊළඟට අජාසත් කුමාරයා දවසට දෙපාරක් උදේ හවස දේවදත්ත ස්ථවිරයන් දකින්න යනවා. පන්සියයක් රථ වලින්. ඒ වගේම පන්සියයක් ආහාර භාජන - බොහොම රසවත් ආහාර තැටි - යවනවා දේවදත්ත ස්ථවීරයන්ට. මේ කාරණය සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැළකලාම බුදු පියාණන් ප්‍රකාශ කරනවා - “මහණෙනි, මේ දේවදත්ත ස්ථවීරයන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්න එපා. ඒ ලාභ සත්කාර ආදිය දේවදත්ත ස්ථවිරයන්ට ලැබීම නිසාම පරිහානියට පත් වෙනවා. විනාශයට පත්වෙනවා. හරියට අර සැඬ පරුෂ බල්ලෙකුට පිතක් නහයට ඉව වැටුනහම වඩාත් සැඬ පරුෂ වෙන්න වගේ දේවදත්ත ස්ථවීරයනුත් ඒ විදියට හැසිරෙනවා කියලා අනාගත වාක්‍යක් එහෙමත් ප්‍රකාශ කලා.
ඒ වගේම ඊළඟට අර දේවදත්ත ස්ථවීරයන් වහන්සේ මේ අජාසත් කුමාරයා කැමති කරවා ගත්තා කරුණු කියලා තමන්ගේ පියා බිම්බිසාර රජු මරලා ඉක්මනින් රජ වෙන්න. මම බුදුරජු මරලා බුද්ධ රාජ්‍යය ලබා ගන්නවා කියලා. ඇත්ත වශයෙන් ඒකට මූලික වුනෙ කලින්ම එක අවස්ථාවක දේවදත්ත ස්ථවීරයන් බුදු රජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරන අවස්ථාවේ ඉදිරිපත් වෙලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා “දැන් භාග්‍යවතුන් වහන්සේ වයෝවෘද්ධයි. සඟ පිරිස මට පවරා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ විශ්‍රාම අරගෙන විවේකයෙන් වැඩ වසන්න” කියලා. බුදු පියාණන් වහන්සේ ඒකට නිග්‍රහ කළා. අග්‍රශ්‍රාවකයින් වහන්සේලාටත් මම නොදෙන - මේ අගසව්වන්ටත් නොදෙන නායකකම ඔබ වැන්නකුට දෙන්නෙ නෑ කියලා නිගහ කළා. ඉන් කිපිලා තමයි මේ දේවදත්ත ස්ථවීරයන් බුදුපියාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවෙ, අර අජාසත් කුමාරයා උපකාර කරගෙන. අජාසත් කුමාරයා පියාට භයානක අන්දමින් වද දීලා මරණයට පත් කරන්න සලස්සුවා ආනන්තරිය පාප කර්මයකට අසුවුණා. ඉතිං මගධ රාජ්‍යය ලබාගත්තට පස්සේ දේවදත්ත ස්ථවීරයන් ඇවිල්ලා කියනවා දැන් ඉතිං ඔබ නම් ඒ කටයුත්ත කර ගත්තා ඔබතුමා දැන් මගේ වැඩෙටත් උදව් වෙන්න කියලා. ඊළඟට බුදු රජාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා.
පළමුවෙන්ම යෙදූ උපක්‍රමය, දුනුවායන් යැව්වා බුදු පියාණන් වහන්සේ විවේකයෙන් වනයේ වැඩ වෙසෙන අවස්ථාවක. එක දුනු වායෙකුට පැවරුවා බුදු පියාණන් වහන්සේට විදින්න කියලා. ඒ විදලා එන අතරේ ඒ දුනුවායා මරන්න තව දුනුවායන් දෙන්නෙක් ඒ මාර්ගයේ රැඳෙව්වා. වෙන පාරකින් එන අතරේ. ඊළඟට ඒ දෙන්නා එන අතරේ ඒ දෙන්නා මරන්න තව හතර දෙනෙක්. ඒ හතර දෙනා මරන්න දහසය දෙනෙක්. ඔය විදියේ මහ පුදුම අන්දමේ ක්‍රම උපක්‍රමයක්, කුමන්ත්‍රණයක්, අභිරහසක් විදියට තබා ගැනීමට මේ බුද්ධ ඝාතනය මේ දේවදත්ත ස්ථවීරයන් මේ විදියට සැලැස්ම යෙදුවා. නමුත් අර බුදු පියාණන් වහන්සේට විදින්න ගිය මනුෂ්‍යයාට බුදුපියාණන් වහන්සේගේ බුද්ධ තේජස නිසා ඇඟ දරදඬු වෙලා ඒක කරගන්න බැරි වෙලා, තමන් ආපු කාරණය කීවා. බුදු පියාණන් වහන්සේ ඒ මනුෂ්‍යයාට ධර්මය දේශනා කරලා වෙන පාරකින් යන්න සැලැස්සුවා. ඒ වගේම ඒ සෘද්ධි බලය තුළින්ම බුදු පියාණන් වහන්සේ අර අනික් පිරිසත් - දෙන්නා, හතර දෙනා, අට දෙනා, දහසය දෙනා වශයෙන් ඒ මාර්ගයේ රැඳවු හැම දෙනාම - බුදුපියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බණ අහලා පැහැදිලා ඒ බලාපොරොත්තු වුනු කාර්යය ඉෂ්ට කලේ නෑ.
මේ කාරණය දේවදත්ත ස්ථවීරයන්ට දැනගන්න ලැබුනහම කල්පනා කරා දැන් ඉතිං මමම බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න ඕන කියලා. ගිජ්ඣකූට පර්වතයට - ගිජුකුළ පව්වට - නැගලා බුදු පියාණන් වහන්සේ එහි පහත සක්මන් කරන අවස්ථාවක මහ විශාල ගල්කුළක් පෙරළුවා. ඒ ගල්කුළ වැටෙන අතරේ තවත් ගල්කුළ දෙකක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස තුළින් මතුවෙලා අර ගල්කුළ වැළැක්කුවා. නමුත් ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ පිටි පතුලට වැදිලා බරපතල අන්දමින් වේදනා ගෙන දෙන තුවාලයක් ඇතිවුනා. ජීවක වෙද්යාචාර්ය තුමන්ට බෙහෙත් කරන්නත් සිද්ධ වුනා. ඒ තුළින් දේවදත්ත ස්ථවීරයන් අර බුද්ධ ශරීරයෙන් ලේ සෙලවීම කියල කියන භයානක ආනන්තරිය පාප කර්මයකටත් අසුවුනා.
ඉතිං බුදුරජාණන් වහන්සේ ඒත් සාතනය කරන්න බැරිවුණු නිසා ඊළඟට දේවදත්ත ස්ථවීරයන් යෙදූ උපක්‍රම මොකක්ද, නාලාගිරි ඇතුට රා පොවලා බුදු පියාණන් වහන්සේත් සංඝයා වහන්සේලාත් වැඩම කරන මාර්ගයට මුදා හරින්න පිළියෙල කලා, ඇත් ගොව්වන්ට අල්ලස් එහෙම දීලා. ඉතිං ඒ නාලාගිරි ඇතු මහා භයානක අන්දමින් දූවිලි නාගෙන එන අතරේ බුදු පියාණන් වහන්සේ මෛත්‍රී සිත යොදලා ඒ ඇතාව දමනය කලා, දණගස්සන්න සැලැස්සුවා. එතකොට ඒ උත්සාහ තුනම ව්‍යර්ථ උනාට පස්සේ ඒ එක්කම රටවැසියන් අතර, නගර වාසීන් අතර, ලොකු උද්ඝෝෂණයක් ඇති වුනා මේ තරම් පාපතරයකුට අජාසත් රජතුමා උදව් කරනවා කියලා. අජාසත් රජතුමාට මෙතෙක් ඒ දේවදත්ත තෙරුන්ට දුන්න සත්කාර පවා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතිං මේ අවස්ථාවේදී ඊළඟට දේවදත්ත ස්ථවීරයන් කල්පනා කරනවා. දැන් කොහොමද මම නැවත ලාභ සත්කාර ආදිය ලබාගන්නෙ කියලා. ඊළඟට පාපී සිතුවිල්ලක් ආවා සංඝ භේදය කියන ඒ සංඝයා වහන්සේලා භේද කරවලා සමගි සම්පන්නව සිටින සංඝයා වහන්සේලාගෙන් කොටසක් තමන් අරගෙන ගිහිල්ලා වෙනම සාසනයක් හදන්න. ඒ පාපී සිතිවිල්ල එනවත් එක්කම අර කලින් තිබුණු සෘද්ධිබල නැතිවෙලා ගියා. ඊළඟට මේ ආරංචිය ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට දැන්වුවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා ඔන්න එහෙනම් ඉතාමත්ම භයානක තවත් ආනන්තරිය පාප කර්මයකට දේවදත්ත ස්ථවීරයන් බැඳෙන්නයි යන්නෙ කියලා. ඉතිං ඒ අවවාද අනුසාසනා කිසිවකට කන් නොදී දේවදත්ත ස්ථවීරයන් පඤචවර කියන විශේෂ ඉල්ලීම පහක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මනුෂ්‍යයින් කැමති වන විදියේ දේවල්. ඒ වර පහ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරහම අලුතෙන් පැවිදි වුනු භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් තමන්ගේ පක්ෂයට හරවා ගෙන ඊළඟට ගයා ශීර්ෂයට - ඒ කියන්නෙ බුද්ධගයා කියලා අපි හඳුන්වන ඒ උතුම් තැනට - මේ දේවදත්ත ස්ථවීරයන් ගිහිල්ලා වෙනම සාසනයක් පටන් ගත්තා. කෝකාලික කටමොරකතිස්ස කියලා කියන ශ්රාවකයින් දෙදෙනෙක් අග්‍රශ්‍රාවකයින් හැටියට දෙපැත්තෙන් තබාගෙන තමන් බුදුකෙනෙක් හැටියට බුද්ධ ලීලාවෙන් ශාසනයක් ආරම්භ කලා. ඒක ටික කලක් පැවතුනා. පවතින අතරේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක අග්‍රශ්‍රාවක දෙනම - සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවක දෙනම - යැව්වා මේ පිරිස ආපහු අරගෙන එන්න. ඒ යන අවස්ථාවේ දේවදත්ත ස්ථවීරයන් ධර්ම දේශනා කරනවා බුද්ධ ලීලාවෙන්. රැවටුනා, මේ අගසව් දෙනමත් මගේ පැත්තට ආවා කියල. රෑ තරමක් දුරට ධර්ම දේශනා කරලා පැවරුව මං වෙනුවට මේ ධර්මය දේශනා කරන්න කියලා. ගිහිල්ලා සැතපුනා. ඒ අතර තුර අර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම හරි ආකාරයෙන් ධර්මය ඉදිරිපත් කරලා අර දේවදත්ත ස්ථවීරයන්ගේ පිරිස ඔක්කොම නැවත හරවාගෙන ඒ පිරිසත් එක්ක අහසින්ම බුදු රජාණන් වහන්සේ දැකීමට ආපසු වැඩම කළා.
අර කෝකාලික කියන දේවදත්ත ස්ථවීරයන්ගේ අග්‍රශ්‍රාවකයා දේවදත්ත ස්ථවීරයන් නැගිට්ටවලා - එතන කියවෙනවා පපුවට පයින් ගහලා නැගිට්ටවලා - මේ කාරණය ප්‍රකාශ කලාම ඒ ඇතිවුනු සංවේගය නිසා දේවදත්ත ස්ථවීරයන්ට ලේ වමනය ඇති වුනා කියලා. ලේ වමනය දැම්මා කියලා. ඒ ඇතිවුණු චිත්ත කම්පනයත් ලේ වමනයත් නිසා නව මාසයක්ම රෝගාතුරව දේවදත්ත ස්ථවීරයන් බොහොම භයානක අන්දමේ කායික දුක් වේදනා විදිමින්, අන්තිම අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැකීමට එන්න බලාපොරොත්තු වෙමින්, ඒ තමන්ගේ අනුගාමිකයින්ට කිව්වා ජේතවනාරාමයට මාව අරගෙන යන්න කියලා. ඒ ආරංචිය එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේලා ප්‍රකාශ කලා මෙන්න දේවදත්ත ස්ථවිරයයි දැන් එන්න හදනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා මේ ජීවිතයේදී දේවදත්ත ස්ථවිරයන්ට නැවත මා දකින්න ලැබෙන්නෙ නෑ. කොයියම්ම ආකාරයකින් ජේතවනාරාමයට ආවත් මාව දකින්නෙ නෑ කියල. ඉතිං අර අනුගාමිකයින් මුලදි අකමැති වුනා මේ දේවදත්ත ස්ථවිරයන් ගෙනියන්න. ජීවත්ව ඉන්දෙද්දි බුදු රජාණන් වහන්සේට මේ තරම් වෛර කරලා ඔබ දැන් කියනවා අපට එක්කගෙන යන්න කියලා. එතකොට දේවදත්ත ස්ථවිරයන් කියනවා ඒ වුනාට භාග්‍යවතුන් වහන්සේට මා කෙරෙහි වෛරයක් නැත කියලා. කොහොම හරි කැමති කරවා ගත්තා. එතකොට අර අනුගාමිකයින් ඇඳක තබලා දේවදත්ත ස්ථවීරයන් අරගෙන ගියා ජේතවනාරාමය ලඟට. ඒ ජේතවනාරාමය ළඟ පොකුණ අයිනේ ඒ ඇඳ තියලා ඒ අරගෙන ආපු අය පොකුණට බැස්සා නාන්න. ඒ අතරතුර දේවදත්ත ස්ථවිරයන් ඇඳේ ඉදගෙන බිමට පය තිව්වා. බිමට පය තියෙන කොට පොළව විදර වෙලා අවීචියෙන් ගිනි දැල් ඇවිත් අවීචි නිරයට ගිය බව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේ දේවදත්ත ස්ථවීරයන් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන එක්තරා ගාථාවක් ප්‍රකාශ කළ බවත් කියවෙනවා.
එතකොට ඔන්න දේවදත්ත ස්ථවීරයන්ට ගිය කල. ඉතිං මේකෙ මුල, බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ මේකට හේතුව, අර ලාභ සත්කාරය කියල. ලාභ සත්කාර කියන එක මහා දරුණු දෙයක්. ඒක දැන් අර මුලින්ම මේ කථාවෙ කියවුන අර අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන්වහන්සේට ලැබිය යුතු චීවරය දේවදත්ත ස්ථවිරයන්ට ලබාගන්න පුළුවන් වුණු ඒ ආඩම්බරය උඩඟු බව, නිසා තමයි එතන ඉඳලා අනිකුත් ඒ ජනප්‍රියත්වය ලබාගෙන ලාභ සත්කාර ලබාගෙන අර විදියේ පාපකම් රාශියකට පටලැවුනේ. ඉතිං ඒ අනුව අපට හිතාගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලාභ සත්කාර ඉතාම දරුණු දේවල්. මේ දේවදත්ත ස්ථවිරයන්ට ඒ වුනු විපත පිළිබඳව සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා උපමා හතරකින්. “මහණෙනි, කෙසෙල් ගසක් පීදෙන්නේ කෙසෙල් ගසේ විනාශයටයි. ඒ වගේම තමයි උණ ගසක් පීදෙන්නෙත්. පීදුනොත් උණ ගස විනාශයි. බට ගස පීදුනොත් බට ගස විනාශයි. ඒ වගේම කොටළු දෙනක් ගර්භිනී උනොත් ඒ දරුගැබ නිසා මරණයට පත්වෙනවා. ඔන්න ඔය වගේම ඒ ලාභ සත්කාර දේවදත්ත ස්ථවීරයන්ගේ විනාශය පිණිසම ඇති වුනා” කියලා ඒ විදියට ප්‍රකාශ කලා. ඉතිං මේ අනුව අපට හිතාගන්න පුළුවන් මේ ජනප්‍රියත්වය ලාභ සත්කාර කියන ඒවා බොහෝවිට මනුෂ්‍යයින් භයානක අන්දමේ පාප කර්මවලට යොමු කරන බව.
ඒ වගේම මේ ජාතක කථාව ගැන කල්පනා කරලා බලන කොට මේ ජාතක කථාවෙනුත් අපට කාලීන වශයෙන් වැදගත් වන යම් යම් උපදේශ මතු කරගන්න පුළුවන්. දැන් මේ ජාතක කථාවේ කියවුනා පළමුවෙන්ම අර ඇත් වැද්දා තමන්ගේ ඒ ඇත් දඩයමට යොදා ගත්තේ මොකක්ද, පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සොරා ගත්තු සිවුරක්. පින්වතුනි, මේ චීවරය කියන එක අපේ බණ පොත් වල හඳුන්වන්නෙ අර්හත් ධජයක් කියලා. අර්හත් ධජයක් කියලා කියන්නේ, දැන් ඔන්න අපි හිතමු පෙරහැරක් එනකොට පෙරහැරේ ඉස්සරහින් එන කොඩිය අනුව නෙ අපි තේරුම් ගන්නෙ මේ පෙරහුරේ එන අය. ඉතිං ඒ වගේ අර්හත්ධජය කියන්නෙ චීවරය දකින කොට කෙනෙකුට ඇතිවන අදහස මොකක්ද, එක්කො මේ රහතන් වහන්සේ නමක් එහෙම නැත්තම් රහත් ප්‍රතිපදාවේ හැසිරෙන, රහත් බව සඳහා උත්සාහ කරන, පිරිසක් කියන අදහසයි. මේ චීවරය දරාගත්තු පිරිසක් එතකොට ඇතිවෙන්නේ. ඒක නිසා තමයි ඒකට අර්හත් ධජය කියලා කියන්නේ. නමුත් මෙන්න මේ අර්හත්ධජය වෙන විදියේ පරමාර්ථ සඳහා, වෙන විදියේ පෙරමුණ සඳහා, ඉදිරිපත් කර ගත්තොත් ඒක හරියට අර ඇත් වැද්දා බුදුරජාණන් වහන්සේගෙන් සොරා ගත්තු සිවුර ඇත් දඩයමට යොදා ගත්තා වගේ වැඩක් වෙනවා.
ඒක නිසා අර්හත්ධජය අන්න අර නිවන් කරා යන ගමන, ඒ අරමුණ, ඒ පරමාර්ථය, රහත් බව කරා යන ගමන, ඒක පෙන්නුම් කරන ධජයක් හැටියට ආරක්ෂා කර ගැනීමයි වටිනාම දේ. ශාසනයක් ආරක්ෂා කර ගැනීම ගැන අපි කලින් සඳහන් කලා. එතකොට අන්න ඒ අදහස අපිට මේ ජාතක කථාව තුළින් ගන්න පුළුවන්. ඒ වගේම මේ චීවරය තවත් සමහර තැන්වල සන්නාහයක් හැටියටත් සඳහන් වෙනවා. දැන් ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙක් හිටියා තිස්ස කුමාරයා - උප රජකමත් ලබාගෙන, නමුත් ඒ තිස්ස කුමාරයා දැඩිව නිවන් අදහස ඇතිකරගෙන ශාසනයේ පැවිදිවෙලා විවේකයට කොයි තරම් ලැදි වුනාද කියතොත් උන් වහන්සේ ඒ ධර්ම ග්රන්ථ වල හැඳින්වෙන්නේ ‘ඒක විහාරීය’ තෙරුන් කියලා. ‘ඒක විහාරීව තනිව ජීවත් වීමට ආශා කල ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වුනා, මේ රාජ කුමාරයාත්. ඉතිං පැවිදි වුනාට පස්සේ ඒ තමන්ගේ නිවන් පිළිබඳ අදහස කොයි තරම් දැඩිව තිබුණද කියතොත් නිවන පිළිබඳ බලාපොරොත්තුව හෙළි කිරීමට එක්තරා ගාථාවක් වදාළා. ඒ ගාථාවෙන් ප්‍රකාශවෙන අදහස මේකයි. ’මම මේ සන්නාහය බැඳගෙන කැලේට ඇතුල්වෙනවා. කැලෙන් එළියට එන්නෙ නෑ කෙලෙස් සටන ජයගරහ කරලා රහත් නොවී’. එතකොට එයින් පේනවා අර සන්නාහය කියන එක - දැන් සන්නාහය කියලා කියන්නේ පින්වතුනි, යුද්ධකදී, සටනකදී, ආයුධ පහරෙන් වැළකීමට යොදා ගන්නා එක්තරා ආයිත්තමක් - ඉතිං ඒක කෙලෙස් සටනට ආයිත්තමක් මිසක්, කෙලෙස් සටනට ආරක්ෂාවක් මිසක්, වෙන සටන් වලට, වෙන වෙන වැරදි ක්‍රියා කරලා ඒවායින් එන විපාක වලින් බේරීමට - චීවරය ඉදිරිපත් කරගැනීම ශාසනානුලෝමික නෑ. සාසනයට අනුකූල දෙයක් නෙවෙයි. ඒක හරියට අර ඇත් වැද්දා ඇතුන් මැරීමේ වරදට දඬුවම ලංවෙන කොට සිවුර ගලවලා ඉස්සරහට ගත්තා වගේ වැඩක් වෙනවා. ඉතිං ඔය ජාතක කථාවෙනුත් අපට යම් යම් කාරණා, උපදෙස් ඔය ආශයෙන් තේරුම් ගන්න පුළුවන්.
ඉතිං මේ හැම එකක් තුළින්ම අපට පේනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය නිසා ශාසනික වටිනාකම් යටපත් වෙන්න ඉඩ තියෙන බව. ඒක නිසයි බුදු පියාණන් වහන්සේ ඒවායේ භයානකත්වය නිතර මතුකරලා දුන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කලා මේවා හරියට දැන් ඕන්න ගොම කුරුමිණියෙක් දිහා බැලුවහම ගොමකුරුමිණියෙක් ගොම ගොඩක් ලබාගත්තම - ගොම ගුලියක් - ඒක පෙරලගෙන පෙරලගෙන යනවා. බොහොම ආඩම්බරයෙන්. අන්න ඒ වගෙයි ඒ උපමාව දක්වනවා බුදු පියාණන් වහන්සේ, යම් කිසි භික්ෂුවක් බොහොම ආඩම්බරයෙන් කියනවා නම් “මට අහවල් අහවල් තැනින් ආරාධනා තියෙනවා. මට සිව් පසයෙන් කිසි අඩුපාඩුවක් නෑ.” ඕවා කියනවා නම් අන්න අර ගොම කුරුමිණියා වගෙයි කියලා. ඒ විදියට නිග්‍රහ වෙන අන්දමටත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම අපි දැන් දන්නවා මේ ලාභ සත්කාර කියන ඒ රැල්ලට අහුවුනාට පස්සේ සංඝයා වහන්සේලාගේ සනාතන වටිනාකම් හැටියට සලකන්න පුළුවන් වන වටිනා ගුණධර්ම නැතිවෙලා යන බව. මොනවද ඒ ගුණ ධර්ම? අල්පේච්ඡතාව, සන්තුට්ඨීතාව, සුභරතාව. අල්පේච්ඡතාව කියල කියන්නේ ආශාවන් අඩු බව, සුළු දේකින් සෑහීමකට පත්වෙන්න පුළුවන් බව. ඒ අල්පේච්ඡතාව ආරක්ෂා කරගන්න අමාරුයි ගිහි සමාජයෙන් එන සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී රැල්ලට අසුවුනහම. ඒකට ගසාගෙන යනවා. දැන් මුහුද වෙරළේ දුර්වල ගොඩනගිල්ලක් තියෙනවා නම් වාරකන් කාලේ එන එන රැලපහරට කඩාගෙන යන්න වගේ, හෝදගෙන යන්නා වගේ, අන්න අර අල්පේච්ඡතාව කියන ගුණය වැනසිලා යනවා සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී ආරාධනා තුළින්. මේ හැම කෙනාටම ඒක තුළින් යමක් හිතාගන්න පුළුවන්. ඒ වගේම සන්තුට්ඨිතා කියල කියන, ලද දෙයින් සතුටුවීමේ ගුණය. ඒකත් සංඝයා වහන්සේලාට අයිති දෙයක්. සිවුපසයෙන් සෑහීමකට පත්වීම. අෂ්ටපරිෂ්කාර කියලා අතීතයේ අෂ්ටපරිෂ්කාරයෙන් සෑහීමකට පත්වුන සංඝයා වහන්සේලා. පිරිකර අටක්. දැන් කොච්චරද කියල ගණන් කරන්න පුලුවන් වෙයිද කියන්න බෑ. පරිෂ්කාර වශයෙන් අත්‍යවශ්‍ය හැටියට සලකන දේවල් එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි සුභරතාව, සුභරතා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒකත් අර සංඝයා වහන්සේලා ක්‍රම ක්‍රමයෙන් සුඛෝපභෝගී ජීවිතයට නැඹුරුවීමත් එක්කම පෝෂණය කිරීම කියන ගිහි පක්ෂයට එන වගකීමත් එන්න එන්නම බැරෑරුම් වෙනවා.
ඒ වගේම වැදගත් කාරණයක් තමයි නියම සංඝයා වහන්සේ කෙනෙක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා නුසුදුසු අන්දමින් ගිහියන් සමහ සබඳකම් නොපැවැත්විය යුතු බව. දැන් දේවදත්ත ස්ථවිරයන් පිළිබඳව අර වර්ණනා කළේ දේවදත්ත පක්ෂය දානපලේදී, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නම් ගොයම් පැහුණු කාලෙට පමණයි එන්නේ. දේවදත්ත ස්ථවීරයන් මඟුල් අවමඟුල් හැම දෙකකටම අපට උපකාර වෙනවා, හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ. වතුර භාජනයක් වගේ. ඕන දෙයක්, ඕන එකක්, හෝද ගන්න බොන්න කියන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අනික, ඒ තත්ත්වයට සංඝයා වහන්සේ කෙනෙක් වැටුනොත් අන්න අර දේවදත්ත පරමාර්ථය ඔස්සේ යන්න ඉඩ තියෙනවා. ඒ තරම් භයානක දෙයක් මේ ජනප්‍රියත්වය කියන එක. ජනප්‍රියත්වය ඇතිවුණු හැටියෙ ඊළඟට බලාපොරොත්තු වන්නෙ පදවිය. පදවි ලාභය. ඉතිං ඒක තුළින් දන්නෙම නැතිව අශාසනික මාර්ගයකට යොමු වෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නුසුදුසු ගිහි සම්බන්ධකම් ඉවත් කරලා සංඝයා වහන්සේලා තමන්ගේ පරමාර්ථයට එකඟ වන නිවන් මගට අදාළ වන අන්දමින් ජීවිතය ගෙනයා යුතු බවයි. වෙන එකක් තබා නුසුදුසු අන්දමින් ගිහියන්ට සංග්‍රහ කිරීම පවා කුල දූෂණය නමින් හැඳින්වෙනවා. කුල දූෂණය කියන වචනය - පවුල් දූෂණය කරනවා කියලා කියන්නෙ මොකද, ඒ ශ්‍රද්ධාව දූෂණය කරනවා. මහා ශ්‍රද්ධාවක්, ගැඹුරු ශ්‍රද්ධාවක්, ලෝක ශ්‍රද්ධාවක්, ඇතිවයි ගිහි පින්වතුන් සංඝයා වහන්සේලාට සිවුපසය පූජා කරන්නෙ. ඒ ශ්‍රද්ධාව දූෂණය වීමට හේතුවෙනවා අනියම් අන්දමින්, නුසුදුසු අන්දමින්, ගිහියන් සමහ සම්බන්ධකම් පැවැත්වීම. ඒක අර දේවදත්ත ස්ථවීරයන්ගේ ක්‍රියාවලියෙන් අපට පැහැදිලි වෙනවා. නමුත් සමාජයේ සාමාන්‍යයේ සැලකෙන්නෙ, ජනප්‍රිය වෙන්නේ, බොහොම දෙනෙක් ‘ඡන්දය’ දෙන්නේ, අන්න අර විදියේ ආකල්පය ඇති අයටයි. අපි කල්පනා කර ගන්න ඕන ශාසනය දීර්ඝ කාලයක් පවතින්න නම් අපි - ‘කුසලච්ඡන්දය’ - කුසලයටයි ඡන්දය දෙන්නෙ ඕනේ. ඒ පැත්තටයි. ඉතිං අන්න ඒ විදියේ කාරණා රාශියක් අප මේ කථාන්තරය තුළින් මතුකර ගන්න පුළුවන් වුනා.
බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයාට සම්බුද්ධ සාසනයක් කියල දෙයක් හඳුන්වලා දෙන්නේ මේ සංසාරයේ තියෙන දුක්ඛ ස්වභාවය දුක්ඛ සත්‍යය වශයෙන් අවබෝධ කරගෙනයි. රජකම්, සිටුකම්, සක්විතිකම් ආදී කොයි දෙයක් ලැබුවත් ඒ හැම දෙයක්ම අනිත්‍ය බව බුදු පියාණන් වහන්සේ නොයෙකුත් සුත්‍ර දේශනා වල ප්‍රකාශ කරලා තිබෙනවා. සමහර විට ඒ සුත්‍ර දේශනාවල සක්විති රජවරුන්ගේ සම්පත් ගැන තියෙන ටික බොහොම ආසාවෙන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියවනවා. ඒ මිසක් සූත්‍රයේ අවසාන වන ටික - “මහණෙනි, මේ සියල්ල අනිත්‍යයි. ඒ හිටි සක්විති රජවරුත් නෑ ඒ බිසෝවරුත් නෑ. කුමාරවරුත් දැන් නෑ. ඒ සියලු සම්පත් - සියල්ලම දැන් විනාශයි. ඔයත් ඇති සංස්කාර ගැන කලකිරෙන්න. මේ සියලු සංස්කාර අනිත්‍යයි” කියලා ඒ විදියටයි බුදු පියාණන් වහන්සේ අතීත කථාන්තර, චක්‍රවර්ති කථාන්තර, ආදිය මතු කරලා දක්වන්නේ. ඒ අනුව පෙන්නුම් කරන්නේ මේ සංසාරික ජීවිතයේ ඇති දුක් ස්වභාවයයි. මේවට පැලැස්තර දමමින් එක්තරා ප්‍රමාණයකට ගිහි ජීවිතය ගෙන යන බව ඇත්ත. නමුත් ගිහි පින්වතා තුළින්ම තමයි පැවිද්දෙක් ලෝකයට බිහි වෙන්නේ, යම් කිසි අවස්ථාවක. දැන් මේවගේ අවස්ථාවල මේ පින්වතුන් තම තමන්ගේ කොයිතරම් සුඛෝපභෝගී ජීවිත රටාවල් තිබුණත්, කොයි තරම් වස්ත්රාභරණ තිබුණත් ගෙදර දොරේ, ඒවා ඉවත් කරලා දාලා, ඒවා අහක්කරලා, මේ එක දවසක් වාම් ජීවිතයට නැඹුරුවෙලා තමන්ගේ ජීවිතය ගැන, ලෝකය ගැන, ගැඹුරින් කල්පනා කරන්න අවස්ථාවක් සලසා ගන්න ගෙවල් වලින් ඉවත් වෙලා, එහෙම කරපු ආරම්භය තුළින් ඇතුම් කෙනෙක් ගැඹුරින් කල්පනා කරලා මේ තමන්ගේ ජීවිතය ගැන සංසාරික තත්ත්වය ගැන හිතලා, යම් අවස්ථාවක කලකිරීමක්, සසර කලකිරීමක්, ඇතිකර ගත්තා නම් අන්න ඒ අවස්ථාවේ තමයි පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ.
එතකොට පැවිදි පරමාර්ථය මොකක්ද? ‘පබ්බජ්ජා’ කියලා කියන්නේ මේ සසර දුකින් එතර වීම. ‘සබ්බදුක්ඛනිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය’ කියන ඒ පරමාර්ථය මුල් කරගෙනයි කෙනෙක් පැවිද්දටනේ. සිවුරුපටිය තාමත් ගෙල බඳින්නෙ ඒ වාක්‍යය කියලයි. සියලු දුකින් නික්මීම කියන නිවන ප්රත්යක්ෂ කර ගැනීම සඳහායි, මේ පැවිද්ද කියල කියන එක. එතකොට ශාසනයක් ආරක්ෂා වීම කියල කියන්නෙ - ශාසනය කියලා කියන කොට දැන් ඊළඟට සංඝයා වහන්සේලා ගැන හිතන කොට මේ පින්වතුන් අහලා තියෙනවා අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා අපි පාවිච්චි කරනවා. මේ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය ගිහි පින්වතාට විශේෂ සංකල්පයක් වන්නෙ මොකද? ඒක හරියට අර ගිහි ජීවිතයේ ඉඳලා බලනකොට නිවන ඉතාම ඈත තියෙන දෙයක්. බොහොම ඈත මාර්ගයක්. නමුත් මේ ඈත මාර්ගයේ අප වැනි අයත් අවස්ථා වශයෙන් මේ ගමන ගිහිල්ලා සසර දුක් කෙළවර කරලා තියෙනව කියන අවබෝධය ලබාදෙන පුද්ගල විශේෂයන් තමයි අර අෂ්ඨාර්ය පුද්ගලයින් හැටියට දක්වන්නේ. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන ඒ මාර්ගයේ යන සහ ඒ මාර්ගඵලයට පැමිණ අට දෙනා වහන්සේලා හරියට අර නිවන මඟ තියන පහන් වැටක් වගේ, පහන් පෙළක් වගේ. ඒ තුළින් යම්කිසි ආලෝකයක් ලබනවා මේ මාර්ගයේ අපිට යන්න පුළුවන් කියලා. එතකොට ඒ සංඝ සාසනය, ශාසනය තුළ තියෙන වටිනාකම එකයි. යම්තාක් මේ සංඝයා වහන්සේලා ඒ නිවන් මහ හැසිරෙනවද, ඒතාක් එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදීත් ප්‍රකාශ කලා යම්තාක් ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සම්පූර්ණ කරනවද, ඒ තාක් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස්වෙන්නෙ නෑ කියලා. මොකද, බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ධර්මයේ ප්‍රායෝගික අංශය තේරුම් අරගෙන ඒක අනුව ක්‍රියා කරනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම්, කෙනෙකුට අද පවා ඒවා ලබාගන්න පුළුවන්. ඒ විදියේ නෛර්යාණික සම්බුද්ධ ශාසනයක ඇති වටිනාකම් අපි හරියාකාර තේරුම් ගන්නෙ නැත්නම් ඒ වෙනුවට අන්න අර වගේ මේක කොඩියක් සන්නාහයක් හැටියට හිතාගෙන චීවරය පාවිච්චි කලොත්, ශාසනය පරිහානියට පත් වෙනවා මිසක් ශාසනය දීර්ඝ කාලයක් පවතින්නෙ නෑ. දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස.
මෙන්න මේ කාරණයයි අපිට මේ කථාන්තරය තුළින් ගතහැකි වන්නෙ. ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ මාර්ගයට පිවිසෙන්නෙ කොහොමද? ශීල ආදී ගුණ ධර්ම තුළින්. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනව ශීලය කියන පදනම මතයි සමාධිය ගොඩ නැගෙන්නෙ. ඒ සමාධිය කියලා කියන විත්ත ඒකාග්‍රතාව පිහිට කොටගෙනයි යථාභූත ඥානය කියල කියන අනිත්‍ය දුඃඛ අනාත්ම ත්රිලක්ෂණය ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ කෙනෙකුට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා. එතකොට සංඝයා වහන්සේලාගේ, රහතන් වහන්සේලාගේ, ඒ ජීවිත ආදර්ශයට අරගෙන අද මේ විශාල පිරිසක් ගිහි පින්වතුන් තම තමන්ගේ සුඛෝපභෝගී ජීවිත රටාවල් අතහැරලා මේ අද එක දවසක් රහත් ප්‍රතිපදාවේ හැසිරෙනවා කියන ඒ අවබෝධය ඇතිවයි පොහොසය අටසිල් සමාදන් වුනෙ. ඉතිං ඒ විදියේ ප්රතිපදාවක හැසිරීම තුළින්ම පේනවා යම් කිසි ගුරු ඉලක්කයක් පින්වතුන් තුළ පවා තිබෙනවා. අපි කවදා හෝ මේ ගිහි ජීවිතය තුළ තියෙන දුක් කම්කටොළ පමණක් නොවෙයි දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ - බුද්ධ වචනය සත්‍ය නම් මනුෂ්‍යයින් හැටියට පමණක් නොවෙයි තිරිසනුන්, යක්ෂයින්, ප්‍රේතයින් හැටියට, නිරා සතුන් හැටියට දීර්ඝ කාලයක් මේ සංසාරයේ - අපි දුක් විදලා තියෙනවා. බුද්ධ ශාසනයක් පහළ වුනා නම් ඒ බුද්ධ ශාසනයත් අප අර සඳහන් කල ආකාරයට බුදු පියාණන් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන එතුම්ම දායාදය හැටියට සලකන්න පුළුවන් වෙන්නෙ අන්න අර නිර්වාණ මාර්ගය ප්රත්යක්ෂ කිරීමේ යෙදිල සිටින සංඝයා වහන්සේලාගෙන් සම්න්විත සම්බුද්ධ ශාසනයයි. එතකොට සම්බුද්ධ ශාසනය ආරක්ෂාවන්තාක් ගිහි පින්වතුන්ට මේ තමන් ගෙන යන ප්‍රතිපදාව පවා අර්ථවත් එකක් බව ඒත්තු යන්න පුළුවන්. එහෙම එකක් නැත්නම්, ඉලක්කයක් නැත්නම්, ඉදිරියට පහනක් ආලෝකයක් නැත්නම්, ගිහි පින්වතුන්ටත් තිබෙන්නෙ ඒ සුඛෝපභෝගී ජීවිතයෙම ගැලිලා, ඒ සුඛෝපභෝගී ජීවිතයටම සංඝයා වහන්සේලාත් ඇදගෙන සංසාරයේ තවත් දීර්ඝ කාලයක් සැරිසැරීමයි.
එතකොට අපි හැම තිස්සෙම කල්පනා කරල මතු කරගන්න ඕන ධර්මය. බුදු පියාණන් වහන්සේලා මතු කරලා දුන්න ඒ නිවන. අපි මේ අකුරු තුනක් හැටියට සැලකුවත් ‘නිවන’ කියල කියන නිවීම, මේ සසර දුක් වලින් එතර වීමෙන් ලබන - එහෙම නැත්නම් මේ මෙලොවම ප්රත්යක්ෂ කරගන්න - ඒ සැනසීම. මේ ඉලක්කයයි එතකොට හැම බෞද්ධයාගෙම පරමාර්ථය. කොයි කොයි විදියේ දාන ආදී පින්කම් කළත්, මලක්, පහනක් පිදුවත්, මේ පින්වතුන් ප්‍රාර්ථනා කරන්නේ මේ මල් පිදීමේ ආනිසංසයෙන් කුසලයෙන් මට නිවන් ලැබේවා කියලා. මේ හැම එකක්ම ‘නිබ්බාන පච්චයෝ හෝතු’ කියලා නිවනට ප්‍රත්‍යය වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. ඒක ප්‍රාර්ථනාවක් පමණක් හැටියට තබන්නේ නැතිව, ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක පක්ෂයට නගන්න නම්, අන්න අර කියාපු ශීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කරන්න ඕන. ඒ මාර්ගයට අයිති වටිනාකම් තමයි අපි අර සඳහන් කලේ - අල්පේච්ඡතාව, සන්තුට්ඨීතාව සුභරතාව. ඒ කියන ගුණාංග.
එතකොට මේ පින්වතුන් දන්නවා ගිහි පැවිදි දෙපක්ෂයම බොහොම ඕනෑ කමින්, බොහොම ආශාවෙන්, නිතර සජ්ඣායනා කරන, පරිහරණය කරන, කරණීය සූත්‍රයෙ පවා ‘කුලෙසු අනනුගිද්ධො’ කියලා සඳහන් වෙනවා. කුලයන් පිළිබඳව ගිජු කමක් නැති බව ඒ විදියටයි ඒ නිවන් ප්‍රතිපදාවේ හැසිරෙන්නෙ. දැන් අන්න කියවුනා අර ධර්මාශෝක රජතුමාගේ සහෝදරයා යුවරජු හැටියට හිටියා. නමුත් මහණ වුනාට පස්සේ ඒක විහාරිය වශයෙන් කැලෑවට වැදිලා අර සන්නාහය මුදන්නෙ නෑ රහත් වෙනකන් කියලා ඒ විදියට දැඩි අධිෂ්ඨානයකින් ඒ කටයුතු කළේ මොකද, අන්න ශාසනික වටිනාකම් හරියාකාර තේරුම් ගත්තා. මොකද, බුද්ධෝත්පාද කාලයක පමණයි කෙනෙකුට සසරින් මිදීමේ අවස්ථාව සැලසෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් පසේ බුදු රජාණන් වහන්සේලාත් පහළ වෙලා නිවන් දකිනවා නෙද කියලා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේලාත් තිබෙන අඩු පාඩුව මොකක්ද රහතන් වහන්සේලාට වඩා ශ්‍රේෂ්ඨ හැටියට සැළකුවත් උන් වහන්සේලාට බෑ නිවන් මග වෙන කෙනෙකුට අවබෝධ කරන්න. උන් වහන්සේලාගේ වැඩ සිටීමෙන් දානමාන ආදිය කරලා විශාල අන්දමින් පින් රැස් කරගන්න පුළුවන්. නමුත් නිවන් මග දක්වන්න බෑ. ඒක පුළුවන් වෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. එතකොට එහෙම දැක්වූවා නම්, එබදු ධර්මයක් පවතිනවා නම්, ඒ ධර්මය අනුව ජීවත්වීම තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ.
කෙනෙකුට කියන්න පුළුවන්, අර ඉස්සර පුස්කොල පොත්වල තිබෙන කොට නම් ඒවා පුස්කාලා වේයො කාලා ඒ ධර්මය නැතිවෙන්න ඉඩ තිබුණා. දැන් අපට නානාවිධ උපකරණ තිබෙනවා. ඔය නොයෙකුත් නම් වලින් මේ පින්වතුන් හඳුන්වන. අපි මේ ප්‍රකාශ කරන වචනත් කොහේද කොහේදෝ සටහන් වන බව පේනවා. ඉතිං ඒවා සටහන් වුණු පමණින් ශාසනයක් ආරක්ෂා වෙයිද? අපි කල්පනා කරන්න ඕන මේවා රන් පත්වල ලියලා තැන්පත් කරලා තිබුනත් මේ හදවත් වල තැන්පත් වෙන්නෙ නැත්නම් ඒවායින් ඇති වැඩක් නෑ. ඒවා ඊළඟට බලන කොට තේරුම් ගන්න බැරි - අර ශිලාලේඛන සෙල් ලිපි වගේ තේරුම් ගන්න බැරි - වචන ගොඩක් විතරයි අන්තිමට. දැන් ඒ තත්ත්වයටයි පත්වෙලා තියෙන්නේ. ඔය උගතුන් කියලා කියන මහා ශාස්ත්රඥයින් මේ ධර්මය තේරුම් ගන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්නෙ ඒකයි. ඒ අයට මේක තේරුම් ගන්න බෑ. මොකද, ප්‍රායෝගිකව මේ මාර්ගයේ යන්නෙ නැති නිසා. ශීල, සමාධි, ප්‍රඥා කියන ඒ මාර්ගයේ ගමන් තුළිනුයි මේ ධර්මයත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.
ඊටත් වඩා වැදගත් දේ හැටියට තියෙන්නේ මේකයි. දැන් කෙනෙකුට, ඒ නිවන් මාර්ගයේ හික්මෙන කෙනෙකුට ඒ භාවනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට අදල එදිනෙදා ඊට අදාළ, උපදෙස් දෙන්න පුළුවන් වෙන්නෙත් ඒවායේ හැසිරෙන අයට පමණයි. ප්‍රායෝගික වශයෙන් ඒවා ප්රත්යක්ෂ කරගන්න අයට පමණයි. දැන් කොයි තරම් වඩු කර්මාන්තයට අවශ්‍ය වඩු උපකරණ ගොඩගහලා තිබුණත් ඒවා පාවිච්චි කරන ආකාරය කියා දෙන්න වඩුවෙක් නැත්නම්, කෙනෙකුට බෑ ඒ කර්මාන්තයේ යෙදෙන්න. අන්න ඒ වගේ මේ ධර්මයේ කොටස් හැටියට පොත්පත්වල, තව නොයෙකුත් උපකරණ වල තැන්පත් කරලා තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැමිණෙන ගැටළු පිළිබඳ උපදෙස් දීම සමත් ඒ මාර්ගයේ යන, ඒ මාර්ගයේ ගිය, අය නැත්නම් ඒ ශාසනය එතනින්ම අවසානයි කියල කියන්න පුළුවන්. අන්න ඒ විදියේ තත්ත්වයක් සමහර විට උදාවෙන්න පුළුවන්. මේවා ජීවිතයට ලංකර ගන්නෙ නැතිව මේ ධර්මය ඈතින් තියාගෙන මේවා විග්රහ කර කර, විතර්ක වඩ වඩා, මේවායින් මුදල් හම්බකිරීමේ පරමාර්ථයක් මතු කරගෙන, ඒ විදියට කටයුතු කරනවා නම් අන්න ශාසනයක් ආරක්ෂා වෙන්නෙ නෑ. ඒ වෙනුවට තමන් ටිකක් හෝ දැනගෙන ඒක ක්‍රියාවට නගලා, ශීල, සමාධි, ප්‍රඥා පුහුණු කරලා, බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ලෝකෝත්තර තත්ත්ව තමන්ට ප්රත්යක්ෂ කර ගන්න පුළුවන් නම්, අන්න ඒ තුළින් තමයි ශාසනයත් ආරක්ෂා වෙන්නේ.
ශාසනය පිළිබඳව ත්‍රිවිධ ශාසනයක් ගැන කියවෙනවා, පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේධ කියලා. පර්යාප්ති කියලා කියන්නෙ අන්න අර ධර්මය ඉගෙන ගැනීම, කට පාඩම් කර ගැනීම, කියන කොටසයි. ඒවා කොච්චර තිබුනත් ඒවා ප්‍රතිපත්තියට නැගීමක් නැත්නම් ඒක එහෙම පිටින්ම වචන ගොඩක්, මන්ත්‍ර ගොඩක්, විතරයි. නිකම්ම නිරර්ථක මන්ත්‍ර ගොඩක් පමණයි. ඊළඟට ඒක ප්‍රතිපත්තියට නැඟීම තුළින් යම්කිසි කෙනෙක් ප්රරත්යක්ෂ කර ගැනීම කියන කාරණයටයි ප්‍රතිවේධ කියන්නේ. ප්‍රතිවේධ කියල කියන්නේ විනිවිද දකිනවා. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්රිලක්ෂණය යම් අවස්ථාවක නුවණින්, ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන. ප්රත්යක්ෂ කරගන්න ඕන. පවත්තං වේදිතබ්බො කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. මේ ධර්මය “පවත්තං වේදිතබ්බො විඤ්ඤූහි” නුවණැත්තන් විසින් තම තමන්ට ප්රත්යක්ෂ කරගත යුතු ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒක ප්රත්යක්ෂ කරගන්න නම් අර කිව්ව මාර්ගයේ ගමන් කරන්න ඕන.
ඉතිං මේ හොඳ ආරම්භයක් මේ පින්වතුන් කරලා තියෙනවා. මේ ශීල සමාදානය. ඒ එක්කම අද දවසේ හැකිතාක් දූරට භාවනා මාර්ගයට අනුව යම් ප්‍රමාණයකට තමන්ගේ භාවනා කමටහන් පුරුදු කරන්නත් අවස්ථාව සැලසුනා කියලා හිතන්න පුළුවන්. ඒ එක්කම ගැඹුරින් කල්පනා කරලා විදර්ශනාත්මක වශයෙන් මේ ජීවිතයේ, මේ ශරීරයේ, ඇති අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ න්‍යායයන් අනුව කල්පනා කරලා, යම්කිසි කෙනෙකුට ගැඹුරින් වැටහුනා නම්, අන්න ඒ අවස්ථාවේ තමයි අර විදර්ශනාත්මක වශයෙන් ප්‍රඥාව මතුවුනා කියලා කියන්නේ. මේ යථා තත්ත්වය මේ පංචස්කන්ධය තුළින්ම විනිවිද දකින්න ඕන, යම්කිසි අවස්ථාවක භාවනාමය වශයෙන්. මේ අපි නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම අනිත්‍යයි. සැප කියලා හිතාගෙන ඉන්න දෙයක්ම දුකයි. සුඛ කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම අසුභයි. ආත්ම - මමය, මාගේය කියලා හිතන දේවල් අනාත්මයි කියලා කියන, අර ලෝකයා විපර්යාස හැටියට විපරීත අන්දමින් හිතාගෙන සිටින දේවල්වල යථා තත්ත්වය අපට අවබෝධ වෙන්ට ඕන. ඒ අවබෝධය කරා යන මාර්ගය තමයි භාවනා මාර්ගය.
ඉතිං මේ නුවණැති පින්වතුන් කල්පනා කරන්ට ඕන අද වැනි වෙසක් දවසක මේ සාසනික වටිනාකම් අපි ආරක්ෂා කරගත යුතුයි ගිහි පැවිදි භේදයක් නැතිව. ඒවා ආරක්ෂා කරගන්න නම් ඒවා හරියාකාර තේරුම් ගන්න ඕන. නිවැරදිව තේරුම් ගන්න ඕන, බුද්ධ වචනයට අනුව. මොනවද අපට ආරක්ෂා කරගන්න තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ශාසනික පැවැත්මට උපකාර වන මේ නිර්වාණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමට උපකාර වන ඒ කාරණාද, එහෙම නැත්නම් අර ලෝකයා බැහැරින් ගෙන එන ඒ නොයෙකුත් ඉලක්කයන්ද? ජීවිත රටාව සුඛෝපභෝගී පැත්තට හරවාගෙන තරහකාරී ඒ ගිහි ජීවිතයෙන් පැමිණෙන ඒ ආරාධනා වලට අනුව අපේ ජීවිත හැඩ ගස්සා ගත්තොත් අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අල්පේච්ඡතා, සන්තුට්ඨීතා, සුභරතා ආදී ගුණ ආරක්ෂා කර ගැනීම අමාරු වෙනවා වගේම නුසුදුසු ගිහි සම්බන්ධතාවල් තුළින් එහෙම පිටින්ම ශාසනය පුදුම විදියේ සංකර තත්ත්වයකට පත්වෙනවා. සංකර තත්ත්වයකට පත්වෙනවා. ගිහි පින්වතුන් තුළ සංඝයා වහන්සේලා පිළිබඳව යම්කිසි ගෞරවයක් ඇතිවෙන්නෙ තමන්ට ගිහි ගෙදර කරන්ට බැරි යම්කිසි දෙයක් මේ සංඝයා වහන්සේලා කරගෙන යනවා. උන් වහන්සේලාට සිවුපසයෙන් සංග්‍රහ කිරීම අපගේ සත්පුරුෂ යුතුකමක් කියලා හිතා ගෙනයි බොහොම ශ්‍රද්ධාවෙන් තමන් නොකා නොබී ඒ ආහාර පානාදිය පවා, වස්ත්‍රාදිය පවා, සිවුපසය වශයෙන් සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. එතකොට දැන් ලොකු වගකීමක් තියෙන්නේ ඒ සංඝයා වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ යෙදී බුදු පියාණන් වහන්සේ මතුකර දෙන ඒ නිර්වාණ ධර්මය ප්රත්යක්ෂ කරගත්තොත් ඒ දායක පින්වතුන්ට විශාල කුශල සම්භාරයක් ලැබෙනවා. ඒ අදහසින් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස’ කියලා, ලෝකයාට උත්තරීතර පින්කෙතක් බවට පත්වෙනවා කියලා. එතකොට ඒ පින්කෙත හැටියට හිතාගෙන ඉන්න ඒ ගිහි පින්වතුන්ගේ ඕනෑ ඕපාකම් සම්පූර්ණ කරමින් අර දේවදත්ත ස්ථවීරයන් වගේ ඒ ප්‍රතිපත්තියේ හැසිරුණොත් එතන ජනප්‍රියත්වය කෙසේ වෙතත් ශාසන පරිහානියටයි මඟ පෑදෙන්නේ.
මෙන්න මේ කාරණා ටික මේ පින්වතුන්ගේ සිත් වලට අපි දාන්නේ මේ ශාසනයේ චිර පැවැත්ම ගැන කල්පනා කරලයි. එතකොට අද මේ පැයක් පමණ කාලය තුළ මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කලා. ඒ වගේම තම තමන්ගේ මට්ටමින් යම්කිසි ශීලයක් සමාදන් වෙලා ශීලාදී ගුණධර්ම තුළින් කය වචනය හික්මවා ගත්තා. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන, මේ සංසාරයේ දුඃඛ ස්වභාවය අපි අවබෝධ කරගෙන ගිහි හෝ පැවිදි හෝ වේවා, මේ භාවනා මාර්ගයේ යමින් හැකිතාක් ඉක්මණින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් මේ සියල සංසාර දුකින් අත්මිදිලා උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගන්න මේ ධර්ම ශ්‍රවණය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා, උප නිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම අවීචියේ සිට අකනිටාව දක්වා වූ අපගේ නෑයිනුත් ඇතුළු සියලු සත්ත්වයෝද මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදියට දෙයියන්ට පින් දෙන්න.